දෙවියන්ගේ පිහිට

                             දෙවියන්ගේ පිහිට



        මම ගමේ ගොස් බෝඩිමට පැමිණියෙමි.නාන කාමරයට වැදී හොඳහැටි නා ගත්තේ ගමන් වෙහෙසින් මිදීම සඳහා ය.වේලාව සවස පහමාරට හයට පමණ ඇත.නාන කාමරයෙන් එලියට ආ මට විශාල පිපුරුම් හඬවල් ඇසෙන්නට විය.පහළ පාර දෙස බැලූ මට පෙණුනේ මිනිසුන් හිස් ලූ ලූ අත දිව යන අයුරු ය.පිපිරුම් හඬත් ඇඳිවත පිටින් දුවන මිනිසුනුත් මසිතට ගෙනාවෙ කුතුහලයකි.බෝඩිමේ ගෙදර අයත් නැත.මා පාරේ දුවමින් සිටි අයෙකුගෙන් පිපිරුම් හඬ හා මිනිසුන්ගේ කලබලය ගැන විමසීමි. "ශාලාව කෑම්ප් එක පුපුරනවා ඉක්මනින් ඔතනින් අයින් වෙන්න මහත්තයා"මට ලැබුණු පිළිතුර ය.

            ශාලාව කෑම්ප් එක යනු යුධ හමුදා අවි ගබඩාවක් බව මා අසා තිබුණි.මටත් බියක් දැනිණි.මගේ බෝඩිමේ සිට කෑම්ප් එකට වැඩි දුරක් නැත.විශාල ගිනි දැල් පෙනෙන්නට විය.පිපිරුම් හඬ දෙසවන් බිහිරි කරයි .මාත් මාගේ මෝටර් රථයට නැගගත්තේ අතට අසුවෙන දේ රැගෙනය.මෝටර් රථය මහා මාර්ගයට අවතීර්ණ කර ගැන්මට මෙන්ම ගමනාගමනය ද ඉතා අපහසුය.එතරම්ම පාරේ තදබදය වැඩිය.පොරකකා ඉදිරියට ඇදෙන මහ පිරිස් අතර ඉබි ගමනෙන් ඉදිරියට ඇදෙන වාහන පෝලිමට මාගේ රියත් එක්විය.මා මගේ අම්මට දුරකථන පණිවිඩයක් ගැනීමට ඒ යන ගමන් ම උත්සාහ දැරීමි.එහෙත් දුරකථන ජාලා සියල්ලම කාර්යබහුලත්වය නිසා අක්‍රිය වී තිබුණි.සෙමින් සෙමින් ජනයා අතරින් ඉදිරියට ඇදෙන මාහට දක්නට ලැබුණේ ඉදිරියට ඇදෙන වාහන වලට අත දික්කරමින් ප්‍රවාහන පහසුකම් පතන වයසක යුවලකි.කරේ මලු හිපයක් එල්ලාගත් වයසක ස්ත්‍රිය මහලු පුරුෂයාව ද අතින් අල්ලාගෙන ය.මට බොහෝ කනගාටු සිතුනි.

                අමාරුවෙන් සෙනග අතරින් වාහනය අයිනකට ගෙන නවතා ගතිමි.දැන් මහලු යුවල පසුකර මා ඉදිරියට ස්වල්ප දුරක් පැමිණ ඇත.මම කන් දෙදරුම් කවන පිපුරුම් හඩ මධ්‍යයේ වාහනයෙන් බැස ඒ මහා ජන ගංගාව මැද ඒ අසරණ වූ මව්පිය යුවල සෙවීමි.මදක් සොයා බලන විට මට ඔවුන් දෙදෙනා මුණ ගැසිණි.මම ඔවුන් කැඳවාගෙන විත් වාහනයට නංවා ගතිමි.මහලු පියා කලබලයෙන් නිවසින් බැහැර වීමේ දී පය පැටලී බිම වැටී තිබුණි.ඔහුගේ දණහිස මෙන්ම වැලමිට ද නලල ද තුවාල වී තිබුණි.මට අසරණ යුවල ගැන දුක සිතුනි.මම ඔවුන් අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන විත් මහලු පියා රෝහල් ගත කළෙමි.මහලු පියා ගේ තත්ත්වය බරපතළ නොවීය.පිපිරුම් හඬ තවමත් ඇසෙන්නේ ය.මේ මහලු මව තනි කරලන්නට ද නොහැක.මම මහලු මව  හා රැඳුනෙමි.

              පාන්දර එක පමණ වන විට  පිපිරුම් හඬ මදක් තුනී විය.පාරේ තදබදය ද අඩු විය.ඇතැම් පිරිස් නැවත නිවෙස් බලා ගමන් කරන අයුරු ද  දැක ගැනීමට හැකි විය.මම මහලු මව ද රියට නංවා ගෙන ඇයගේ නිවසට පැමිණියෙමි.ඒ එන අතර තුර මම ඔවුන්ගේ තොරතුරු විමසීමි.ඇයගේ කතාවෙන් කියැවුණේ ඔවුන් දරුවන් නොමැති කාත් කවුරුවත් නැති අසරණ යුවලක් බවයි.

           මේ යුවළට මගෙන් තවදුරටත් උපකාර අවශ්‍ය බව මට තේරුණි.මම ඒ නිසා රථයට වී කල්පනා කළේමි.මේ මහලු යුවළට තවදුරටත් උපකාර කළ යුතුය යන තීරණයට මම එළඹුණේමි.එදා ඒ හදිසි අවස්ථාවේ ඔවුනට උදව් කිරීමේ සිට අද දක්වාම මා ඔවුනට ඇප උපකාර කරමි.මගේ සිත එයින් බොහෝ නිවී සැනසී යයි.දරුවන් නැති ඒ යුවළ ද මට ඔවුන්ගේ දරුවෙකුට සේ සලකයි.

           මේ මහලු යුවල පවසන ආකාරයට මේ පළාතේ මිනිසුන් වන්දනා කරන රංවල දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔවුන්ට මා මුණගැසුණු බවත් පැය ගණනාවක් බිහිසුණු ලෙස පුපුරා ගිය අවි හමුවේ කිසිදු ජීවිත හානියක් සිදු නොවූයේ රංවල දෙවියන්ගේ පිහිටෙන් බවත්ය.සත්තකින්ම පැය ගණනාවක් බිහිසුණු ලෙස පුපුරා ගිය අවි හමුවේ කිසිදු ජීවිත හානියක් සිදු නොවීය.දේපල හානි සිදු වුවද කිසිම ප්‍රාණියකුට හානියක් වූ බවට තොරතුරක් වාර්තා නොවීය.


                                                                     ✍️අමා.

             

Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය