සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය

                              සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය.


                    හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කාව්‍යයි.එකී කියමන සපථ කරනු ලබන කිවිඳියක ලෙස නූතන සාහිත්‍යය කිවිදියන් අතුරින් යමුනා මාලනී පෙරේරා පෙන්වා දිය හැකිය.  "සුරා සොඩ සැමි වලප" නම් පද්‍ය පන්තිය රචනා කොට ඇත්තේ ද ඇය විසිනි.එම කාව්‍ය ඇයගේ කාව්‍ය නිර්මාණ අතරින් විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය.

                  මෙකී සුරාසොඬ සැමිවලප නම් පද්‍ය පන්තිය සඳහා ඇය පාදක කොට ගෙන ඇත්තේ සුරාවට ලොල් වූ පුරුෂයෙකු නිවසේ කටයුතු මෙන්ම තම භාර්යාව ගැන ද තැකීමක් නොකොට ජීවත් වී භාර්යාව මියදුනු විට ශෝක වෙමින් අතීතාවර්ජනය කරනු ලබන්නකි.

    අයස ලගදි මා ලග සිටි             යසවතිය

    සිරිබර සැපත නොමදුටු            සිරිමතිය

    නිරස කුල බොජුන් වැල            රසවතිය

    කටුක වැල් යහන සැරසූ           පතිවතිය

                 මෙම කවියෙහි සඳහන් පුරුෂයා ඉතාමත් දැඩි ලෙස සුරාවට ලොල් වු පුරුෂයෙකි.ඔහු කෙතරම් බීමතින් නිවසට පැමිණියත් ඇයට තාඩන පීඩන සිදුකළත් භාර්යාව ඉතාමත් සානුකම්පාවෙන් මේ දුක් සියල්ල ඉවසාගෙන ඔහු සමගින් ජිවත් වන්නට විය.ඇතැම් විට මොවුන්ගේ විවාහය දෙමාපියන්ගේ කැමැත්ත නොමැතිව සිදුවන්නට ඇතැයි ද සිතේ.මේ කාන්තාවට කෑමට සැමදා ලැබුණේ නීරස කෑම වර්ගයන්ය.නමුත් ඇය ඒවා ඉතා උසස් ලෙස සිතා සතුටින් ආහාරයට ගෙන බේබදු සැමියා සමඟ එක වහලක් යට ජීවත් විය.එසේම ඇගේ සැමියාගෙන් ඇයට අවශ්‍ය දෑ නොලැබුණත් ඒ කෙදිනකවත් ඇගේ පතිනිදම් විනාශ කොට ගෙන නැත.ඇති නැති සියල්ල ඉවසා දරාගෙන ඇය සිය පතිවත ද රැකගෙන තිබේ.

  පරමල කියා කියා මා ගැරහූ                කුසුමාවී

  අද වූ මනෙත දිවැසින් දුටු                   නයනාවී

  මූ දේවිය ලෙස මා දුටු                           සීදේවී

  නුඹේ සොහොන ලග නෙත් ලදුයේමි       දේවී

             බේබදු ස්වාමිපුරුෂයාට අද ඉතිරිව ඇත්තේ ඇගේ සොහොන ළඟ හඬා වැලපීම පමණි.ඔහු ඇය ජීවත්ව සිටින විට කෙදිනකවත් ආදරයෙන් ආමන්ත්‍රණය කොට නැත.ඇය පතිවත රැකගෙන සුවඳවත් ලෙස සිටියද ඔහු ඇයට  "පර මල"  ලෙස ආමන්ත්‍රණය කොට ඇත.මොහු සුරාවෙන් මත්ව ඔහුගේ දෑස් මත් රකුසාගෙන් වැසී ඇති බව ඇය දනී.ඇය සැම විටම සිය ස්වාමියා දෙස දයානුකම්පාවෙන් බලා ඔහුට ඇප උපස්ථාන කරමින් බලා ගෙන තිබේ.මේ පුරුෂයාට භාර්යාව කෙතරම් හොඳින් සැලකුවද මතින් මත් වී සිටි නිසා ඇයව මූසැළියක් ලෙස පෙනී තිබේ.නමුත් ඔහුට මේය වැටහෙන විට ප්‍රමාද වැඩිය.ඇය මෙලොවින් නික්ම ගොස් හමාරය.ඔහුට දැන් දුක නැතිකර ගැනීමට කල හැකි දෙය ලෙස ඔහු ඇගේ සොහොන ලග ළඟ හඬමින් ඔහුගෙන් ඇයට වූ වැරදි මෙන්ම ඇගේ ගුණ මෙනෙහි කරයි.

 මේ අත් දනී දුන්හැටි බැට නික්ම               නැති

 මේ මුව දනී දුන් නොසරුස් බැනුම්            වැසි

 අනේ ගහ බැනපු කිසිවක් හිතේ               නැති 

 පාලුයි මගේ පැල අඳුරුයි                     පබාවතී

              මේ පුරුෂයා සෑම දිනකම පාහේ බීමතින් ගෙදරට ඇවිදින් නිතරම මෙම කාන්තාවට පහර දීම් මෙන්ම පරුෂ වචනයෙන් බැණ වැදීම් ද සිදුකරයි .ඔහුට කාන්තාව මිය ගිය විට දැන් දැන් ඔහු අතින් ඇයට සිදු වූ වැරදි මතකයට නැගෙයි.නමුත් දැන් ඒවාට ඇගෙන් සමාව ඉල්ලීමට ප්‍රමාද වැඩිය.ඔහු කියා සිටින්නේ එලෙස ගැසුවාත් බැන්නත්  කිසිවිටෙක තරහක් ක්‍රෝධයක් ඔහුගේ සිතෙහි නොමැති බවයි.ඇත්තෙන්ම බේබදු කමින් ගුටි බැට දෙනවා මිස ඔහු කිසියම් හෙතුවක් ඇතිව ගුටිබැට දුන්නා නොවේ.දැන් මොහුට මුළු ගේම අඳුරුය.කෙතරම් එළිය තිබුණත් ඔහුට වැඩක් නැත.ඔහු වෙනදාට ගෙදර එනවිට ඇය උයාපිහා ගෙවල් අස්-පස් කොට සිටිනවා ඇතැයි සිතිය හැක.නමුත් දැන් ඒවා කිරීමට කෙනෙක් නැත.ඔහු ගෙදරට පය තබන විට මුළු ගෙදරම අඳුරු වී පාළුවට ගොස්ය.මොහුට දැන් දැන් ඔහු අතින් සිදු වූ වැරදි හොඳින් මතකයට නැගේ.මෙහිදී ඔහු ඇයට "පබාවතී" යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත.එයින් අපට පෙනී යන්නේ මොහුගේ බිරිඳ රූපයෙන් මෙන්ම සෑම දෙයකින්ම උසස් ඉතාමත් යහපත් බිරිදක් බවය. 

 වද වද මගෙම  පරපුර හොඳ හිතින්                   දරා

 ලැබ ලැබ කටුක දුක් ගිනි නැඟුණ බුර               බුරා

 විඳ විඳ අපා දුක් මට සැපත දුන්                         සරා

 අබිනික්මන් කළේ ඇයි මගේ                   යසෝදරා

                    මෙම පිරිමියා දරුවන් සිටින පියකි."වඳ වද මගෙම පරපුර" යන්නෙන් එය පැහැදිලි වේ.මේ පිරිමියාගේ ගුටි බැට කමින් පරුෂ වචන අසමින් වුවද මේ කාන්තාව දරුවන් ද රැක බලා ගනිමින් මේ නිවසේ ම ජීවත් විය.සාමාන්‍යයෙන් ගැහැනියක දරුවන් හදා වඩා ගත්තාට ඒ පරපුර ඇගේ නොවේ.පිරිමියාගේ පරපුරටය.ඇය පුරුෂයාගේ අඩත්තේට්ටම් මත ද ඔහුගේ පරපුර ඉදිරියට ගෙනයාමට මහන්සි වූ බව කිවිදිය කියයි.එයින් පෙනී යන්නේ මේ කාන්තාව කෙතරම් දුක් ගින්දර ඉසිලුව ද තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඇයගේන් ඉටුවිය යුතු සියලුම යුතුකම් ඇය නොපිරිහෙලා ඉටු කළ බව ය.මේ පුරුෂයා අවසානයේ මෙම කාන්තාවට "යශෝධරා" යන උසස් නාමයෙන් ආමන්ත්‍රණය කොට ඇත.යශෝධරා යනු සිදුහත් කුමරුගේ බිරිඳ ය.ඇය කෙතරම් උතුම් ද එවැනි කාන්තාවන් සමාජයේ නැති තරම්ය.මෙලෙස යශෝධරා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් පෙනී යන්නේ මොහුට මෙම කාන්තාව ඉතාමත් වටිනා බව ය.

                     මේ ආකාරයෙන් සුරාවට ලොල් වූ පුරුෂයෙකු තම බිරිඳගේ වියෝවෙන් පසු සිදුකරන අතීතාවර්ජනයක් මෙම කවියෙහි සඳහන්ය.කිවිදිය රසිකයාගේ සිතෙහි චිත්ත රූප මැවීමට ඉතා උසස් අයුරින් සමත් වී ඇත.එසේම සිව් පද ආකෘතියෙන් මෙම පද්‍ය රචනා කොට ඇත.උපමාලංකාර භාවිතය නිසාවෙන් පාඨකයා තුළ පද්‍ය රසවිඳීමට ප්‍රියතාවයක් ඇති කර තිබේ.මෙමගින් කිවිදිය අද සමාජයේ එක් පැතිකඩක් සාර්ථකව පෙන්වා දී ඇත. සුරා සොඩ  සැමි වලප පද්‍ය පන්තිය මගින් සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන සාර්ථක නිර්මාණයකි.



                                                                                                                       ✍️අමා.


 

Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්